සරණංකර හාමුදුරුවෝ

DSC_0800
තලකිරියාගම ශ‍්‍රී සුමන සරණංකරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

 ‘‘යමෙක් අනුන් විසින් තමාට කරන ලද ගුණ දනී ද, ගුණ කළවුන්ට ප‍්‍රත්‍යුපකාර කරයි ද, නුවණැත්තේ ද කල්‍යාණ මිත‍්‍රයෙක් වේ ද, මිතුරන් කෙරෙහි මහත් භක්ති ඇත්තේ ද දුකටපත් මිතුරාගේ දුක තමා පිටට ගෙන මිතුරා දුකින් මුදවනු පිණිස වැඩ කරයි ද, එබඳු තැනැත්තා සත්පුරුෂයා යයි පණ්ඩිතයෝ කියත්’’

 ධර්මානුකූලව සත්පුරුෂයා කවරෙක් දැයි හඳුන්වා දෙන යථෝක්ත ගාථාවේ එක් එක් අංග අනුව සලකන විට අපවත් වී වදාළ අංගොඩ කුඩාබුත්ගමුවේ ධර්මරක්‍ෂිතාරාමාධිපති අක්‍ෂිරෝග විශේෂඥ තලකිරියාගම ශ‍්‍රී සුමන සරණංකර කොළඹ පළාතේ උපප‍්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දුර්ලභ ගණයේ සත්පුරුෂයෙකැ යි අතිශයෝක්තියෙන් තෙරව හඳුන්වා දිය හැකිය.  උදාර ගුණ රැුසකින් සමන්විත ජීවිතයක් ගත කොට 1986 අපේ‍්‍රල් 17 වෙනිදා අපවත් වන විට උන්වහන්සේ අනූවැනි ජන්ම දිනයත් පසුකොට සිටියහ.  1986 ජූලි මස 23 වන දින තලකිරියාගම දී මෙලොව එළිය දුටු උන්වහන්සේ තලකිරියාගමට ආලෝකයක් ලබා දෙන උත්තමයකු වෙතැයි මුලදී කිසිවකු සිතන්නට නැත.  නමුත් කිතුල්හිටියාවේ අත්ථදස්සි මාහිමිපාණන් වහන්සේ මේ කුඩා කුමරුවා මත යම් දිනක ලෝකශාසන දෙකට වැඩ ඇති වීරෝදාර පුද්ගලයකු වන බව දුටු සේක.  1908 මැයි මස 15 වන දින තලකිරියාගම සරණංකර නමින් නව සාමණේර නමක් සසුන් කෙතට පිවිසියේ මේ දුරදක්නා නුවණෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

 ස්වකීය ආචාර්යපාදයන් කෙරෙහි මහත් ගෞරවයෙන් හා ශාසනික ලැදියාවෙන් යුක්තව සිය පන්සලේ තම ගුරු දේවයන්ගේ පා සෙවණෙහි සිසිල ලබමින් මූලික බණ දහම් ප‍්‍රගුණ කිීරීමෙන් අනතුරු ව වැඩිදුර උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණින් එවක ලක්දිව වීරප‍්‍රසිද්ධ විද්‍යාස්ථානය වූ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති ධූරය හෙබවූ සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ‍්‍රී ධර්මාරාම නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් ධර්මශාස්ත්‍රෝද්ග‍්‍රහණය කිරීමටත්, එම නාහිමිපාණන් වහන්සේට සිය අතින් ඇප උපස්ථාන කිරීමටත් තරම් මේ පින්වත් සාමණේරයන් වහන්සේ වාසනාවන්ත වූහ.

 සිය දිවිමගෙහි දෙවන දශකය පසු කොට අප සරණංකර ස්වාමීන් වහන්සේ 1920 අගෝස්තු මස 11 වෙනිදා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවීය සීමා මාලකයෙහි දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් ව ස්වකීය ශාසනික අයිතිය තහවුරු කරගත්හ.

 රත්මලානේ ශ‍්‍රී ධර්මාරාම නාහිමිපාණන්ගෙන් පසු විද්‍යාලංකාර පරිවෙණාධිපති ධූරය බැබළ වූ අතිපූජ්‍ය ලූණුපොකුණේ ශ‍්‍රී ධර්මානන්ද නාහිමිපාණන්ගේ ඇසුර ලැබ සිය දිවිමග සරුකර ගැනීමේ භාග්‍යය ද සරණංකර හිමියෝ ලදහ.  එමතු නොව ඉන්පසු විදුලකර පිරුවන්පති තනතුර හෙබ වූ කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද, යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද ළඟින් ඇසුරුකළ කෙනෙක් වූහ.  උන් වහන්සේ, මේ අනුව විද්‍යාලංකාර ඉතිහාසයේ යුග හතරක පරිවෙණාධිපතීන් වහන්සේලා ඇසුරු කිරීමේ භාග්‍යය ලද්දා වුන් අතළොස්සෙන් මුල් පෙළේ සිටින කෙනකු බවට උන්වහන්සේ පත්වූහ.  මේ හේතුව නිසා ම විද්‍යාලංකාර යන නමට උන්වහන්සේ තුළ පැවතියේ ඉමහත් ඇල්මක් හා ගෞරවයකි.  මේ ඇල්ම කොතරම් ද යනු තේරුම් ගත හැකි සිදුවීම් රැුසක් උන්වහන්සේගේ චරිතාපදානයේ අන්තර් ගත වෙයි.  විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති ධූරයට පත්වන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් ම උන්වහන්සේගේ ආවාසයෙහි බඩු මුට්ටු කට්ටලයක් වෙන් කොට තිබුණි.  මේ බඩු මුට්ටු අතර පිඟන් කෝප්ප පවා විය.  විදුලකර පිරුවන්පති නා හිමියන් එම විහාරස්ථානයට වැඩම කළේ යම් අවස්ථාවක ද එවිට පමණක් ඒ බඩු මුට්ටු පිරිසිදුව එළියට පැමිණියේ ය.  මේ සරණංකර නා හිමියන් විදුලකර පිරුවන කෙරෙහි දැක් වූ බැතිබර බව පෙන්වන එක් නිදසුනක් පමණි.

 ‘තම ගෝලයන් සියලූ දෙනා ම විදුලකර විදු බිමේ ම ශාස්ත්‍රෝද්ග‍්‍රහණය කළ යුතුය’ යන මතය දැඩිසේ අප නා හිමියන් තුළ ස්ථාවර ව පිහිටියේ ද, මේ ගෞරව පුරස්සර පිළිගැනීම නිසා ය.  විද්‍යාලංකාර පිරිවෙනේ තම ශිෂ්‍යවරයෙකුට ඉගෙනීම නොකළ හැකි නම් වෙනත් කිසිදු පිරිවෙනකට එම ශිෂ්‍යයා ඇතුළත් නොකරන බව උන්වහන්සේ නොයෙක් වර ප‍්‍රකාශ කළහ.  මේ පිළිවෙත ඉතා දරදඬ එකකැ යි යම් කෙනෙකුට සිතිය හැකි නමුත් කෘතවේදීත්වය පෙරටුකොට සිතන ස්ථීරසාර ගුණයෙන් හෙබි උන්වහන්සේ කිසි විටෙක එසේ කල්පනා නො කළහ.  තමන් ඤාණාලෝකය උදාකර දුන් ස්ථානය පිළිබඳ අත්දැකීමෙන් ලත් වැටහීම කෙරෙහි පැවති විශ්වාසය එබඳු ය.

 විද්‍යාලංකාර පිරිවෙන හා එහි අධිපති නාහිමියන් ගැන ඇති භක්ත්‍යාදරය පෙන්නුම් කරන සංවේග ජනක සිදුවීමක් මෙම නා හිමියන්ගේ අවසාන කාලයෙහි සිදුවිය.  විද්‍යාලංකාර පරිවේණාධිපති යක්කඩුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වන විට තලකිරියාගම නා හිමියන් පසු වූයේ දැඩි ගිලන් තත්ත්වයකය.  අපේ යක්කඩුවේ නායක මාහිමියන්ගේ අපවත්වීමේ ආරංචිය ලැබුණු විගස උන්වහන්සේගේ ශ‍්‍රී දේහය දැක බලා ගැනීමට අවශ්‍ය බව තලකිරියාගම නාහිමියෝ පැවසූහ.  නමුත් උන්වහන්සේ පසුවූ තත්ත්වය අනුව එබදු දුර බැහැර තැනකට ගෙන  යෑම ඉතාමත් අවදානම් බැවින් මේ ඉල්ලීම ඉටු කළ නොහැකි බව උන්වහන්සේගේ ශිෂ්‍ය උපස්ථායක පිරිසේ ඒකමතික අදහස විය.  උන්වහන්සේ සිය ඉල්ලීම අත් නොහළහ.  ‘‘යක්කඩුවේ නායක ස්ථවිරයන්ගේ දේහය බලන්න මම එක්ක යන්නේ නැත්නම් මේ ඇඳෙන් බිමට පැනල මැරෙනවා’’ යයි සිහින් එහෙත් ස්ථීර වදනින් උන්වහන්සේ පැවසූහ.  යුතුකම් ඉටු කිරීමේ දී තමන් වහන්සේගේ සුව පහසුව බිදකුදු නොසැලකූ හැටිත් විද්‍යාලංකාර පිරිවෙන හා උන්වහන්සේගේ ජීවිතය අතර සම්බන්ධයේ හැටිත් මෙම සිද්ධියෙන් පමණක් ම වූවත් පැහැදිලි වෙයි.

 කෘතවේදී පුද්ගලයන් මේ ලෝකයේ දුර්ලභ බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි.  සත්පුරුෂයාගේ ප‍්‍රධානතම ලක්ෂණය වන්නේ ද කෘතවේදීත්වය බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ.

 තලකිරියාගම සරණංකර නාහිමිපාණන් වහන්සේ දුර්ලභ ගණයේ කෘතවේදී සත්පුරුෂයකු බව ඉහත තොරතුරු වලින් මනාව පැහැදිලි වෙයි.  තම හිතවතුන් කෙරෙහි අසීමිත ලැදියාවක් උන්වහන්සේ තුළ විය.  තරුණ අවධියේ සිට සරණංකර හිමියන් ළඟින් ඇසුරු කළ කෙනෙකි.  ශ‍්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම ධම්මරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කල්‍යාණි රාජමහා විහාරයේ ආගමික කටයුතු වලදී එමෙන්ම පෙරහැර වලදී ද ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේට සරණංකර හිමියෝ සහාය වූහ.  කුඩාබුත්ගමුවේ ‘ශ‍්‍රී ධර්මරක්ෂිතාරාමයට’ එම නම ලැබුණේ මෙම සම්බන්ධය සංකේතවත් කරන්නට ය.  සරණංකර නා හිමියන් තුළ කල්‍යාණි මිත‍්‍ර ධම_ය කෙතරම් හොඳට පිහිටා තිබුණි දැයි මේ අනුව සිතාගත හැකිය.  තමන්ගේ ශිෂ්‍යවරයන් හා දායක දායිකාවන් සමගත් හිතවතුන් සමඟත් උදව් උපකාර කළ අයගේ නම් ගම් හා ගුණ වර්ණනාවන් ප‍්‍රකාශ කිරීම මුන්වහන්සේගේ ආවේණික සිරිතකි.

 හිතවත් අයට පැමිණෙන දුක් කරදර තමන්ට පැමිණි දුකක් කරදරයක් වශයෙන් උන්වහන්සේ කල්පනා කළහ.  හිතවත් අය වෙනුවෙන් කරදරවීම උන්වහන්සේ කරදරයක් වශයෙන් කල්පනා නොකළහ.  සරණංකර නායක හාමුදුරුවෝ අක්ෂි වෛද්‍ය විශේෂඥයකු වීමේ කථාන්තරය පසු පස ඇත්තේ ද තම හිතවතෙකුට සිදු වූ කරදරයක් පිළිබඳ පුවතකි.  මුන්වහන්සේ ගේ හිතවත් සද්ධි විහාරික තරුණ භික්ෂූන් වහන්සේ නමකට දරුණු ඇස් රෝගයක් වැළඳුණි.  අක්ෂි වෛද්‍යවරු කිහිප දෙනෙකුගෙන්ම ප‍්‍රතිකාර ගත් නමුත් රෝගය උත්සන්න වූවා මිස සුව නොවීය.  මේ නිසා සරණංකර හිමියෝ රෝගී හිමියන් කැටුව අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවූහ.  රෝගියා හොඳින් පරීක්ෂා කළ වෛද්‍ය වරයා බෙහෙතක් දී ‘‘හාමුදුරුවනේ මේකට බය වෙන්න  ඕන නෑ.  මේ බේත දවසට දෙතුන් වරක් ඇසට දමන්නැ’යි කීය.  එදින රාත‍්‍රී රෝගී හිමියන් කෙඳිරි ගාන හඬ අසා සරණංකර හාමුදුරුවෝ එහි වැඩියහ.  ‘‘අනේ හාමුදුරුවනේ මගේ ඇස් පුපුරන්න එනවා’’ යයි රෝගී හිමියෝ කීහ.  ඇත්තටම උන්වහන්සේගේ ඇස අන්ධ විය.  මෙයින් සරණංකර තරුණ හාමුදුරුවන්ගේ සිත තදින්ම කම්පිත විය.  පසුදින උදෑසනම තම හිතවත් හාමුදුරුවෝ ගමට පිටත් කොට යවා ඇස් වෙදකම සොයා ගෙන රටේ නම ගිය දක්ෂ ඇස් වෙදුන් සොයා ගෙන සරණංකර හිමියෝ ගියහ.  ඒ හිතටත් භික්ෂුවට පිළියම් යොදන්නට නොව ඇස් වෙදකම ඉගෙන ගැනීමටයි.  ගම් දනව් සිසාරමින් ගිය මේ ගමනේ ප‍්‍රතිඵලයක් වශයෙන් හඟුරන්කෙත දී කටුකැලේ ශ‍්‍රී ගුණරතන නාහිමියන් හමුවූහ.  ඇස් වෙදකම පිළිබඳ ප‍්‍රවීණ වෛද්‍ය වරයෙකු වූ උන්වහන්සේ ළඟ නතරව වෙද පරපුරේ සියලූ හස්ත සාර ප‍්‍රතිකාර විධි සහ විදුම් පිළිස්සුම් සහිත ශල්‍ය ශාස්ත‍්‍රයද ප‍්‍රගුණ කළහ.

 ශල්‍ය ක‍්‍රම හා නිලබලා පිළිස්සීම නොදැන කරන ඇස් වෙදකම අසම්පූර්ණය.  ඇස් වෙදකම හරිහැටි නොදැන වෙදකමට බැසීමෙන් සමහරු කරන්නේ මහා අපරාධයක් බවත් සරණංකර හිමියන්ගේ අදහස විය.  මේ අදහස උන්වහන්සේ 1972 නොවැම්බර් 18 වැනිදා සුබසෙත පුවත්පතේ පළ කල ලිපියකින් මෙසේ පැහැදිලි කළහ.  ‘‘සාමාන්‍යයෙන් ඇස් රෝගියෙකු ප‍්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයා වෙත පැමිණි විට රෝගියා හොඳින් පරීක්ෂා කොට බලා රෝගය හැඳින ගෙන ප‍්‍රතිකාර කළ යුතු බව මේ වෛද්‍ය ක‍්‍රමයේ ඉගැන්වීමයි.  ශල්‍ය වෛද්‍ය ශාස්ත‍්‍රය හා නිල ඇල්ලීමේ ශාස්ත‍්‍රය හරිහැටි නොදැන මේ වෛද්‍ය ක‍්‍රමය කළ නොහැක.  ඇස සියුම් ඉන්‍ද්‍රියයයි.  එයට ප‍්‍රතිකාර කිරීමේ දී ප‍්‍රවේශමෙන් කළ යුතුයි.’’  උන්වහන්සේ මෙසේ කල්පනා කළේ ස්වකීය මිතුරු හිමියන්ට වූ අපරාධය පිළිබඳ සිද්ධිය ඇතුළු අත්දැකීම් ඇතිවය.  මේ අත්දැකීමෙන් කම්පිත හදින් ආ කරුණා ගුණය බුද්ධිමත් මෙහෙයවීමෙන් අති දක්ෂ අක්ෂි රෝග විශේෂඥයෙක් උන්වහන්සේ තුළින් බිහි විය.  විවිධ අක්‍ෂිරෝග නිසා පීඩාවට පත් දහසකුත් එකක් රෝගීහූ මුන්වහන්සේගෙන් ප‍්‍රතිකාර ලබා සැනසිල්ලට පත්වූහ.  මෙලොව එළිය දැකීමේ භාග්‍යය අවසන් වී යයි බියෙන් මුන්වහන්සේ හමුවට පැමිණි අයගේ සිත කරුණා බර වදනින් සනසා පිළියම් මගින් ඔවුන්ගේ දැකීමේ ශක්තිය තහවුරු කළහ.  මේ අතර සනීප කළ නොහැකි යයි පෙර අපර දෙදිග වෛද්‍ය ක‍්‍රම හදාළ අය විසින් අත්හළ රෝගීහූ ද වූහ.

 ඇසේ දෘෂ්ටි මණ්ඩලය මත ගෙඩියක් සෑදීමෙන් රෝගී වූ තැනැත්තෙක් දිනක් මුන් වහන්සේගෙන් පිළියම් ලබන්නට පැමිණියේ ය.  හා, හා, බිය වෙන්න එපා.  ඔහොම පොඞ්ඩක් වාඩිවෙලා ඉන්නයි පවසා හිස පිටුපස කුඩා මොළය පැත්තේ සියුම් නහරයක් අල්ලා රත්කළ කටුවකින් පුලූස්සා රෝගියා සුවපත් කළහ.  ඇතැම් විට කුඩා මොළ්‍ය අසළ සියුම් නහර දෙකක් විද රන් කෙන්දකින් බැඳ තබා කරන ප‍්‍රතිකාර ක‍්‍රමද මුන්වහන්සේ වෙත විය.  උන්වහන්සේ ආයුර්වේද රෝහලේ බාහිර විශේෂඥ වෛද්‍යවරයකු ලෙසද සේවය කළහ.  මෙසේ දේශීය වෙදකමේ විදුම් පිළිස්සුම් සහිත ක‍්‍රමවල විශේෂඥ භාවයට පත් අවසන් පුරුක ගිලිහී ගියා දැයි අපට අද සැකයකි.

 සිංහල භාෂාව සාහිත්‍ය, බෞද්ධ ධර්මය සංස්කෘතිය පමණක් නොව කලා ශිල්පය, ජ්‍යෝතිශය, සිංහල වෙදකම ආදිය ද ආරක්ෂා කරතැබීමේ ගෞරවය බෞද්ධ භික්ෂූන් වහන්ස්ට හිමිවන තැන.  ඇස් වෙදකම ආරක්ෂා කිරීමටත් දියුණු කිරීමටත් ස්වකීය කාලය ශ‍්‍රමය යෙදවූ සරණංකර නාහිමියන්ගේ නමද අනුස්මරණය කෙරෙන බව කිව හැකිය.

 ඇස් වෙදකමට අමතරව ලෝක ශාසන දෙකට උන්වහන්සේගෙන් ඉටුවූ සේවය ඉතා විශාලය.  අද ප‍්‍රදේශයට මහත් ආගමික සේවයක් සිදු කරන කුඩාබුත්ගමුවේ ධර්ම රක්ෂිතාරාමය අංග සම්පූර්ණ විහාරස්ථානයකි.  නමුත් මීට වසර ගණකාවකට පෙර සරණංකර නාහිමියන් අතට පත්වන විට එහි තිබුනේ කටුමැටි ගැසූ මඩුවකි.  මෙම නාහිමියෝ සිය ශක්තිය උපරිම වශයෙන් යොදා එය සම්පූර්ණ තත්ත්වයට පත් කළහ.  මුදල් ඉපයීමට උන්වහන්සේ වෙදකම් නොකළත් වෙද කමෙන් ලැබුණු යම් යම් ලාභ උන්වහන්සේ පන්සලේ දියුණුවට යොමු කළහ.  මෙසේ දියුණු කළ මෙම විහාර ස්ථානය අද දෙමහල් සංඝාවාස, විහාර මන්දිර, ධර්මශාලා, චෛත්‍ය, බෝධි ආදී සෑම විහාරාංගයන්ගෙන්ම පූර්ණ ස්ථානයකි.  උන්වහන්සේගේ කාර්ය සංවිධාන ශක්තියට එම ගොඩනැගිලි සංකීර්ණය දෙස් දෙයි.

 සරණංකර නාහිමියෝ අතිශය ත්‍යාගශීලිය.  උනවහන්සේට බොහෝ දේ ලැබුණි.  උන්වහන්සේ බොහෝ දේ පරිත්‍යාග කළහ.  දන්දීම කෙරෙහි නාහිමියන්ගේ ලැදියාව පුදුම සහගතය.  කුඩාබුත්ගමුවේ රාජසිංහ මහා විද්‍යාලය වර්තමාන තත්ත්වයට පත්කිරීමට මූලිකව ක‍්‍රියා කල අය අතර සරණංකර හිමියෝ මුල් පෙළේ වූහ.  අද ඉතා ම දියුණු අඩියක පවත්නා සරණංකර දහම් පාසැල ආරම්භ කොට පවත්වාගෙන යාමේ ගෞරවයට ද උන්වහන්සේ හිමිය.

 පෙර එක් අවස්ථාවක ගංවතුර උවදුරක් පැවති විට ඒ ඒ ප‍්‍රදේශවලට එකල ඔරු පාරු වලින් ගමන් කරමින් අනාථ වූවන්ට කෑම බීම සපයා දීමෙන් සිදු කළ සේවය උන්වහන්සේ පිළිබඳව තොරුතුරු දන්නා අය අදත් ගෞරවයෙන් සිහි කරති.  ඉතා ලක්ෂණ දේහ සම්පත්තියකින් ද යුත් නා හිමියන් එවකට ඉතාම නිරෝගී ශක්තිමත් කෙනෙකු වූ නිසා වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ශක්තිය උන්වහන්සේ තුළ විය.  බොහෝ දෙනෙකු සුවපත් කළ පිනෙන්දෝ නොහොත් පෙර භවයක කළ පිං බෙලෙන්දෝ සරණංකර හිමියෝ දීර්ඝ කාලයක් නිරෝගී සුව වින්දහ.  අවසාන කාලයෙහි දැඩිව ගිලන්වන තුරු මතකයේ රැුදෙන තරමේ තදබල අසනීපයක් උන්වහන්සේට නොවූ බව තතුදත් අය පවසති.  මේ ගති ගුණ නිසාම උන්වහන්සේට ලක්දිව පුරා විවිධ තරාතිරමේ ගිහි පැවිදි හිතවත් පිරිසක් වූහ.  ඒ අතර නායක මහා නායක ස්වාවීන්ද්‍රයන් වහන්සේලා හා වෙනත් පූජ්‍ය ආගමික තුමන්ලාත් මැති ඇමති අගමැතිවරු ද වූහ.

 කවර කෙනෙකු සමඟ වුවද වැදගත් යමක් කතා කිරීම මුන්වහන්සේගේ චරිතයේ සඳහන් කළ යුතු ගුණයකි.  බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට වදාලේ වැදගත් යමක් කතා කරන්නට නැතිනම් ආර්ය තුෂ්ණිම්භාවයෙන් සිටින ලෙසය.  මේ ගුණය එක්තරා දුරකට සරණංකර නාහිමි පාණන් තුළ වූ බවට උන්වහන්සේගේ ළඟ ඇසුරට පත් අය සාක්ෂි දරයි.  ඒ කතාබහට තමන්ට උදව් උපකාර කළ අය සිය ආචාර්යවරු ශාස්ත‍්‍රීය කරුණු ආදිය ඇතුළත් විය.

 ව්‍යක්ත ධර්ම කථිකයකු මෙන් ම විචිත‍්‍ර පරිත‍්‍රාණ භානකයකු ද වූ සරණංකර නාහිමියන්ට ඒ මඟින් බොහෝ දෙනා තුළ ප‍්‍රසාදයක් ඇති කිරීමේ සමත් කම විය.  එකල උන්වහන්සේගේ පිරිත් දෙසුම් කෙතරම් ජනප‍්‍රිය වීද යත් මුන්වහන්සේගේ යුග දෙසුම් ඇසීමට ම බොහෝ දුර බැහැර සිට පිරිස ආ අයුරු පැරණි තොරතුරු කතා කරන අය පවසති.  විද්‍යාලංකාර පිරිවෙනේ ඒ යුගයේ පිරිත් පිංකම් ආදියට ආරාධනා ලැබුණු විට එහි මූලිකත්වය ගෙන කටයුතු කිරීමට මුන්වහන්සේට පැවැරුණේ ද මේ විශේෂ සමත්කම නිසාය.

 මුන් වහ්නසේ ඉටු කළ ශාසනික සේවාවන් අතර ඇති කළ සිසු පිරිස ගැන සඳහන් කළ යුතු වෙයි.  තම සිසු දරුවන් යහමඟ ගමන් කොට උසස් තත්ත්වයෙන් සිටිනු දැකීමට උන්වහන්සේ බලවත් කැමැත්තක් දැක්වූහ.  සරණංකර නාහිමියන්ගේ ශිල්ප භාවයෙන් හැදුණු වැඩුණු ගිහි පැවිදි පිරිස අතර අද විශ්ව විද්‍යාල, මහාචාර්ය, කථිකාචාර්ය ආදී විවිධ තරාතිරම් වල අය වෙසෙති.  ස්වාමීන්වහන්සේ කළ සේවාවන් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ඇති දැඩි කළ පැවිදි සිසුන් අතර, අලූත්දඹේවටන අත්ථදස්සී, යම්තම්පොල නන්දසාර හා තලකිරියාගම සිරිනිවාස යන පැවිදි සිසු පිරිසද වෙති.  මේ පිරිස නාහිමියන් රෝගී වූ සෑම අවස්ථාවලම හැබෑ බැතියෙන් යුතුව කළ ඇප උපස්ථාන නිසා සරණංකර නාහිමියන් තම ජීවිතයේ අවසාන කාලය මහත් වූ සැනසිල්ලේ ගත කළහ.

 සියලූ සංස්කාර ධර්මයන්ට හිමි තත්ත්වය සරණංකර නා හිමියන්ටද උරුමවිය.  ‘අනුන් විසින් තමාට කරන ලද ගුණ දැන සිටි ගුණ කළවුන්ට ප‍්‍රත්‍යුපකාර කිරීමේ ලැදිව සිටි නුවණැති කල්‍යාණ මිත‍්‍රයකු වූ මිතුරන් කෙරෙහි භක්ති ඇතිව දුකට පත් මිතුරා දුකින් මුදවනු පිණිස වැඩ කළ සත්පුරුෂ තලකිරියාගම ශ‍්‍රී සුමන සරණංකරාභිධාන කොළඹ පළාතේ උප ප‍්‍රධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූහ.  නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ලැබේවා.