අත්‍ථදස්සී හාමුදුරුවෝ

අලූත්දඹේවටන අත්‍ථදස්සී හාමුදුරුවෝ

                      රජරට අනුරාධපුර අගනගරයට ආසන්න අලූත් දඹේවටන ග‍්‍රාමයෙහි සම්භාවනීය කුලගෙයක 1949 දී උපත ලබා ගමේ පාසලෙන් අධ්‍යාපන දිවිය ඇරඹූ ඒ කුඩා දරුවා ගමට රටට වැඩ ඇති උගතෙකු කර ගැනීමේ මහා ආශාව නිසා පියාණන් විසින් එයට සුදුසු ම මාර්ගය තෝරා ගෙන ඥාතීත්වය ද සලකා මේ දරුවා එවක ධර්මරක්‍ෂිතාරමාධිපති ව වැඩ විසු තලකිරියාගම ශ‍්‍රී සරණංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත භාරකරන ලදී.  මේ කුඩා දරුවා කුඩාබුත්ගමුව රාජසිංහ මහා විද්‍යාලයට ඇතුළත් කර වූ උන්වහන්සේ ඔහුගේ මූලික අධ්‍යාපන කටයුතුවලට යොමු කර වූහ.  ජන්මයෙන් මනිහඬ, කීකරු, විනීත ජීවිතයකට පුරුදුව සිටි මේ කුඩා දරුවාගේ විනීතාචාර සම්පත්තියෙන් හා ප‍්‍රියශීලී පැවැත්මෙන් ප‍්‍රසාදයට පත් නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මොහු වඩාත් ගැළපෙන්නේ මහණකම සඳහා බව මවුපියන්ට දන්වා ඔවුන්ගේ අනුමැතිය ද පරිදි තමන් වහන්සේගේ ශිෂ්‍ය දරුවෙකු වශයෙන් පැවිදි කොට ගත්හ.  සාර්ථක පැවිදි ජීවිතයක් සිය ශිෂ්‍යවරයාට ලබා දීම සඳහා පෙළඹුණු නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තම සාමණේර ගෝලනම දෙමටගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනට භාර කළහ.  එම පිරිවෙනේ ශිෂ්‍යවරයෙකු හැටියට ධර්ම විනය, ශබ්ද ශාස්ත‍්‍ර හැදෑරීම ආරම්භ කළ අත්‍ථදස්සී පොඩි හාමුදුරුවෝ කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර, යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති මහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගෙන් අධ්‍යාපනය ලැබූහ.  එහෙත් උන්වහන්සේට එම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සපුරාගත නොහැකි වූයේ විටින් විට නා නා තරාතිරමේ රෝගාබාධවලින් පීඩාවට පත් වූ හෙයිනි.  බාධා මැද්දේ වුව ද ස්වකීය අධ්‍යාපන කටයුතුවල නිරත වූ උන්වහන්සේට භාෂා ශාස්ත‍්‍ර ප‍්‍රගුණ කිරීම මෙන් ම ශ‍්‍රී සරණංකර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ බොහෝ වෙහෙස මහන්සියෙන් ප‍්‍රගුණ කළ හඟුරන්කෙත රාජකීය වෛද්‍ය පරම්පරාගත ආයුර්වේද වෛද්‍ය ශාස්ත‍්‍රය ද තම ශිෂ්‍යයාට ප‍්‍රගුණ කිරීමට ද අදහස් කළේ තමන් වහන්සේගෙන් පසුවත් එම කීර්තිධර වෛද්‍ය සේවාව මෙවර වාසීන්ට අහිමි නොවිය යුතු යයි තරයේ අදහස් කළ බැවිනි.

විසිවස් සම්පූර්ණ වූ අත්‍ථදස්සී සාමණේරයන් වහන්සේ ශ‍්‍රී සරණංකර නා හිමියන් වහන්සේගේ ප‍්‍රධාන ශිෂ්‍යවරයා හැටියට 1974 දී මහනුවර මල්වතු මහාවිහාරයෙන් උපසම්පදාව ලබා ගත්හ.  එතැන් පටන් ස්වකීය විහාරස්ථානයේ සහ දායකකාරකාදීන් ගේ කුදු මහත් අවශ්‍යතා ඉටු කරන ගමන් ම ආචාර්ය පාදයන් වහන්සේගේ වෛද්‍ය සේවා කටයුතුවලට ද සහාය වෙමින් එහි නිපුණයෙකු බවට පත් වූහ.  දෙයංශයකින් ම අත්‍ථදස්සී හිමියන් ලබන ලද යම් සාර්ථකත්වයක් වී නම් එයට මූලික වූයේ ඒ ගුරු ගෝල දෙනම අතර පැවති ශාසනානුරූපී අකලංක ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව බව කිව යුතුය.  අප දන්නා පමණින් එය පිය-පුතු සබඳතාවයකට වඩා කිසිසේත් අඩු වූවක් නොවේ.  තම ශිෂ්‍යයා ගිලන් පීඩාවලට පත් වූ අවස්ථාවල අහාර, පැන් නොතකා නිදිවරා ගෙන දුක්මුසුව එතුමන් සුවපත්කර ගැනීමට ගතහැකි හැම ප‍්‍රයත්නයක් ම යෙදීමට තරම් ඒ ආචාර්ය පාදයන් වහන්සේ පෙළඹී ගියේ එම සෙනෙහස නිසාමය.  අත්‍ථදස්සී හාමුදුරුවන්ගේ ජීවිතය මෙතෙක් දුර සුරක්‍ෂිත වූයේ මේ ආචාරය පාදයන් වහන්සේ විසින් දෙන ලද උපදෙස් හා විධි විධාන නිසා බව නොරහසකි.

කළගුණ සැළකීම, ගුරු භක්තිය අත්‍ථදස්සී හිමියන් වෙත රැුඳී පැවති ගුණාංග දෙකකි.  ඒ නිසාම සිය ගුරු හිමිපාණන් ගිලන් දුබල වූ අවස්ථාවල සෙවණැල්ලක් මෙන් ළඟින් සිට අවශ්‍ය සියලූ දෑ සොයා බලා සිතා විමසා දායකකාරක නෑදෑ හිතවතුන්ගේ සහාය ද ළඟාකර ගනිමින් පියෙකුට මෙන් ආදරණීයව වත් පිළිවෙත් සපයමින් විහාරස්ථානය ද රැුක ගනිමින් ක‍්‍රියාකළ ආකාරය ආදර්ශමත් සිද්ධියකි.  එවැනි අවස්ථාවල දී උන්වහන්සේ සිය රෝග පීඩාදිය ද නොතකා ගත හැකි හැම පරිශ‍්‍රමයක් ම දැරූහ.  කළයුතු හැම කාර්යයන් ම ඉටු කළහ.

ශ‍්‍රී සරණංකර ස්වාමීන්ද්‍රයින් වහන්සේගේ අභාවයෙන් පසු උන්වහන්සේගේ ප‍්‍රධාන ශිෂ්‍යවරයා හැටියට අත්‍ථදස්සී හාමුදුරුවන් වහන්සේ 1986 දී කුඩා බුත්ගමුව ශ‍්‍රී ධර්මරක්‍ෂිතාරාම විහාරස්ථානයෙහි අධිපති පදවියට පත් වූහ.  විහාරාධිපති වීමෙන් පසු උන්වහන්සේ තුළ බලපෑ කරුණු දෙකක් විය.  ආරම්භයෙහි පටන් විහාරස්ථානයෙන් ගමට, ප‍්‍රදේශයට ඉටු වූ අනුස්මරණීය ආගමික, ජාතික සේවා කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම පළමුවැන්නයි.  දෙවැන්න විහාරස්ථානය ජනතාවගේ ශ‍්‍රද්ධා භක්තිය වර්ධනයට අදාළ අයුරින් දියුණු පවුණු කිරීමයි.  යථෝක්ත දෙකරුණ සඳහා උන්වහන්සේ නිහඬව දායකකාරකාදී කිසිවකුත් නොතළා, නොපෙළා අනුගමනය කළ වැඩ පිළිවෙළ කාගේත් සිත් ගන්නා සුළු විය.

පළමුවෙන් ම විහාරස්ථානයට අනුබද්ධිත ශ‍්‍රී සරණංකර ධර්ම විද්‍යාලය, දායක සභාව, කුලගන සමිතිය, උපාසිකා සමිතිය පණගන්වා එමගින් ගමත්, පන්සලත් අතර සබඳතාව සපුරාලූහ.  එමඟින් ප‍්‍රදේශවාසී බෞද්ධ දරුවන්ගේ ආගමික අධ්‍යාපනය සහ ගති සිරිත් වගා කිරීම සඳහා යෝග්‍ය අයුරින් දහම් පාසැල ප‍්‍රදේශයේ ප‍්‍රමුඛස්ථානයකට ගෙන ඒම සඳහා සමත් වූහ.  දායක සභාව, කුලගන සමිතිය, උපාසිකා සමිතිය පන්සලට පමණක් සීමා කොට නොගෙන ප‍්‍රදේශයේ අනෙකුත් ස්ථාන, පන්සල් මගින් ඉටුකරන ජාතික ආගමික කටයුතුවලට සම්බන්ධ කරවමින් පොදු හැඟීම් දියුණුවට ගැළපෙන ආකාරයෙන් සංවිධානය කිරීම ද උන්වහන්සේගේ අනුශාසකත්‍වයෙහි දක්නට ලැබෙන විශේෂත්‍වයක් විය.

අත්‍ථදස්සී හාමුදුරුවන් වහන්සේ නිතර සිහිකරමින් මහත් ආස්වාදයක් හා සැනසීමක් ලැබූ ප‍්‍රධාන කාර්යය හැටියට සඳහන් කළ යුත්තේ අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අනුරුවක් හැටියට ඉදි කරවූ මහා ප‍්‍රතිමා වහන්සේ නිර්මාණය කරවීමයි.  තරුණ වයසේ දී ආරම්භ කොට ඉතා කෙටි කලක් තුළ මේ මහා ප‍්‍රතිමාව නිම කිරීමට උන්වහන්සේ සමත් වූයේ තමන් තුළ පැවති සැදැහැබර පිරි අධිෂ්ඨානශීලී හදවත නිසා බව උන්වහන්සේගේ පිළිගැනීම විය.  දුටු දුටුවන් බුද්ධාලම්බන ප‍්‍රීතියෙන් පුබුදුවාල ඒ මනෝභාවනීය බුදු පිළිමය තනා නිම කොට තව අවුරුදු පනහකින්, සියයකින් එහා උපදින ජනතාව සඳහා ද පරිත්‍යාග කළ අත්‍ථදස්සී හිමිපාණන්ට ඉන් පසු සිතේ පැවති තවත් එක් පරිත්‍යාගශීලී අදහස් සපුරාලීමට පෙර අපවත්වන්නට සිදු වීම අපට, පළාතට මෙන් ම බෞද්ධයන්ට සිදු වූ දැනෙන අලාභයකි.

දෙස් විදෙස්වලින් ඉගෙනීම සඳහා අගනුවරට පැමිණෙන භික්‍ෂූන් වහන්සේලාගේ නේවාසික පහසුකම් කිසියම් ප‍්‍රමාණයකින් හෝ පිරිමසා ලීම පිණිස භික්‍ෂු නිවාසයක්, ධර්ම පුස්තකාලයක්, ධර්ම ශාලාවක් සහිත ගොඩනැගිල්ලක් තැනවීම, ඒ නොනිමි අදහසයි.  අතේ සතේ නැතත් ඔබ කර දෙන්න.  මම කරන්නම්, කියන්ට කෙනෙක් නැතත් ගතේ සවිය නැති හිතේ සවියෙන් පිරුණු අත්‍ථදස්සී හාමුදුරුවන් වහන්සේ එම කටයුත්ත ද ඇරඹූහ.  අත්තිවාරම මත කණුවලට සීමා වෙමින් අද අපට දක්නට ලැබෙන්නේ උන්වහන්සේගේ ඒ නොනිමි ව්‍යායාමයයි.

එහෙත් උන්වහන්සේ දුර දක්නා නුවණින් උන්වහන්සේගේ ගමේත්, පන්සලේත් ඒකාබද්ධ අර්ථ සිද්ධිදායක ගමනට දැමූ එක් මහඟු අත්තිවාරමක් ඇත්තේ ය.  ඒ උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය දේදුනුපිටියේ අනෝමදස්සී පොඩි හාමුදුරුවන් වහන්සේ ය.  උන්වහන්සේ ලාබාල ය.  එහෙත් හුරුබුහුටිය.  බණ, පිරිතට හොඳය.  අපට ඇත්තේ උන්වහන්සේ පෙරටු කොටුගෙන අත්‍ථදස්සී හාමුදුරුවන් අපේක්‍ෂා කළ පන්සලෙන් ගමට, රටට ගෙන යන සේවාව දිගු කලක් පවත්වා ගැනීමට ක‍්‍රියාත්මක වීම පමණකි.  අපගේ එම ක‍්‍රියාකාරීත්‍වය අත්‍ථදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් සිදු කළ හැකි උදාර ප‍්‍රජා සංග‍්‍රහය ද, පුදසත්කාරයක් ද වන්නේ ය.

2007 ජනවාරි දෙවෙනි දින කුඩාබුත්ගමුව ධර්මරක්‍ෂිතාරාමාධිපති පූජ්‍ය අලූත් දඹේවටන අත්‍ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත් වූහ.  නව වසර ආරම්භ වීමත් සමඟ ම වාගේ අසන්නට ලැබුණ මේ පුවත විහාරස්ථාදායක කාරකාදීන්ට බලවත් සංවේග ජනක පුවතක් වන්නේ, ගමේ පන්සලේ අපේ අත්‍ථදස්සී හාමුදුරුවෝ යන මහත් ඇල්මෙන් බැඳීමෙන් ක‍්‍රියාත්මක වූ උන්වහන්සේගේ ජීවිතය මැදිවියේ දීම මෙසේ නිමා වූ හෙයිනි.